Friday, January 10, 2025

කාලයේ රළ පහර මෙන්ම සාගර රළ පහර ද දරා සිටිනා හැමන්හිල් බලකොටුවේ කතන්දරය..


බටහිර ජාතීන් මහ සයුර තරණය කොට පෙරදිගට යාත්‍රා කොට සිය අණසක ලොව පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලක්දිව ද යුරෝපීය යටත්විජිතයක් ලෙස නොයෙක් බලපෑම්වලට ලක් විය.

උතුරේ තල් ගස් පිස එන කරදිය සුවද මුසු උණුසුම් සුළග විසිරී ඇති යාපනය අර්ධද්වීපයේ කයිට්ස් සහ කරෙයිතිව් යන දූපත් අතර පිහිටි අපූරු බලකොටුවක් පිළිබදව අද සන්තානය.blog අඩවිය ඔස්සේ තොරතුරු  ගෙනෙනු ඇත.

විටෙක රිද්මයානුකූල ලෙසත් තවත් විටෙක චණ්ඩ ලෙසත් රටා මවනා කරදිය රළ පහරින්ද,දශක ගණනාවක වෙනස දරනා කාලයේ රළ පහර විසින් එල්ල කරන ලද පීඩනයන් හා අරගලයන්ට මැදිවී  දුක් අදෝනා දහස් ගණනක දෝංකාරය සගවාගත් මේ අපූර්ව හැමන්හිල් බලකොටුව අදවන විට විවේකී නිහැඩියාවක පසුවන සංචාරක ස්ථානයකි.

මෙහි පහත දැක්වෙන ඡායාරූපයෙහි ලංකා සිතිය‍මෙහි හැමන්හිල් බලකොටුව පිහිටි ස්ථානය දක්වා ඇත.

ර්තමානය වන විට නාවික හමුදාව යටතේ පාළනය වන මෙහි ඇති සංචාරක හෝටලය සංචාරකයන්ගේ ගතට සහ සිතට විවේකී සුව ලබා දෙන අපූරු අත්දැකීම් ලබාගත හැකි ඉසව්වක් වුවද ඒ අපූර්වත්වය යට සැගවුණු මීට වසර ගණනාවකට පෙර හැමන්හීල් බලකොටුවේ අදුරු බිත්ති අතර ඉතා භයංකාර අතීතයක රහස් බොහෝමයක් වැළලී තිබෙන බව ඔබ නොදනන්වා විය හැකිය.මේ සටහන තුළින් ඔබවෙත ගෙන එන්නේ මේ සුවිශේෂී බලකොටුවේ ඉතිහාස කතන්දරයයි.

මෙහි ඉතිහාස කතන්දරය සොයා යාමේදී 17 වන සියවසේ මැද භාගයේ දී අන්තෝනියෝ ඩි අමරල් ඩි මෙනසස් නම් පෘතුගීසී ආණ්ඩුකාරවරයාගේ අණ පරිදි ඉදිකර ඇති අතර මෙය හදුන්වා ඇත්තේ  (Fortaleza Real) රාජකීය බලකොටුව නමිනි.පෘතුගීසීන් විසින් යාපනය බලකොටුව ඉදිකිරීමෙන් පසු යාපනය නගරය සහ ඒ අවට මුහුදු මාර්ගයේ ආරක්ෂාවට මෙය නිර්මාණය කර ඇත.කොරල්පරයක් මත පිහිටා ඇති මෙය කොරල්පර සිමෙන්ති බැද දැමීමෙන් ගොඩනංවා ඇත.

                             ගොඩබිමෙහි සිට බැලූවිට හැමන්හිල් බලකොටුව ඈතින් දිස්වන අයුරු

එමෙන්ම පෘතුගීසීන් මෙම බලකොටුව තැනීමෙන් පසු වැඩි කලක් ලංකාවේ බලය රදවාගෙන සිටීමට නොහැකි වූ අතර ලන්දේසි බල ව්‍යාප්තියත් සමග මෙම බලකොටුව 1858 දී ලන්දේසි ප්‍රහාරයකට ලක් වේ.එම අවස්ථාවේදී පෘතුගීසීන් ශක්තිමත් ලෙස මෙහි බලය ආරක්ෂා කරගෙන සිටියද බලකොටුවට වඩා උසින් තනා තිබූ ජල ටැංකියට ලන්දේසින් විසින් ප්‍රහාර එල්ල කිරීම නිසා ඇති වූ ජල හිගය මත මෙහි සිටි පෘතුගීසීන්ට ලන්දේසීන්හට යටත්වීමට සිදුව ඇත.

මෙම ආක්‍රමණයෙන් පසු නැවත ගොඩනැගි බලකොටුව ලන්දේසීන් විසින් හැමන්හිල් (Hammenhiel) නමින් හදුන්වා ඇති අතර ඌරු මස් ගාතයක  (heel of The ham) හැඩයකින් දිස්වන දිස්වන ලංකාවේ හැඩය නිසාත් මෙම බල කොටුව පිහිටා ඇත්තේ එහි අඩියේ නිසාත් මෙය හැමන්හිල් නමින් හදුන්වා ඇත.

 

බලකොටුවෙහි ඉදිරි පෙනුම

අෂ්ඨාස්‍ර හැඩයෙන් යුතු මෙම බලකොටුවෙහි වෙඩිබෙහෙත් ගබඩා කිරීම සදහා සාදන ලද විශාල උමං කුහර හෙවත්
Dungeon 09 ක් දැකීමට හැකි ය.


ලන්දේසීන්ගෙන් පසුව බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව අත්පත් කර ගැනීමේදී 1795 වසරේ හැමන්හිල් බලකොටුව බ්‍රිතාන්‍යයන් අතට පත්වන අතර ඔවුන් විසින් මෙය බලකොටුවකට වඩා රෝහලක් සහ බන්ධනාගාරයක් ලෙස භාවිත කර ඇත.තවද, 2වැනි ලෝක යුධ සමය වනවිට ගුවන් මුහුදු ගලවා ගැනීමේ ස්ථානයක් ලෙස (Air-sea rescue Station) ලෙසද මෙය භාවිත කර ඇත.

එමෙන්ම තව දුරටත් මෙහි ඉතිහාසය පිළිබද කරුණු විමසා බැලීමේදී 1971 කැරැල්ල වැදගත් වේ.

සමාජිය වශයෙන් දැඩි බලපෑමක් ඇති වූ 1971 තරුණ කැරැල්ල අවස්ථාවේදී යාපනය බන්ධනාගාරයේ සිරගත කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරව නිදහස් කර ගැනීමට යාපනය බන්ධනාගාරය වෙත එල්ල කරන ලද ප්‍රහාරය අසාර්ථක වී ඇති අතර ඉන්පසු සැකකරුවන් රදවා තැබීමට මෙම හැමන්හිල් බලකොටුව යොදාගෙන ඇත.ලයනල් බෝපගේ,ලොකු අතුල,පොඩි අතුල(වික්ටර් අයිවන්) වැනි 71 කැරැල්ලේ කැපී පෙනෙන චරිත රාශියක්ද මෙම සිරකදවුරේ සිරගතකොට තිබූ බවට අදහස් ප්‍රකාශ වේ.

                  හැමන්හිල් බලකොටුවේ සිරකරුවන්සි රදවා තැබීමට යොදා ගත් සිරකුටියක ඡායාරූපයක්

හැමන්හිල් බලකොටුවේ අවකාශයන් අතර ඛේදනීය මතක සටහන් සැගවී පවතින බව 1971 කැරැල්ලේ සිරකරුවන් විසින් ගෙන එන කතන්දර තුළින් ඔවුන්ගේ ජීවිත ඉතා දුක්ඛිත ලෙස ගත කළ බව දක්වන අතර මෙහි අභ්‍යන්තරයේ අති වෙඩි බෙහෙත් ගබඩා කරන ඩන්ජන් තුළ රැදවියන් සැරගත කොට තබා ඇත.ඒ අතර විශාලම ගුහාවේ සිරකරුවන් 70 ක් පමණ රදවා තබා ඇත.

කරදිය සුළං මුසු බලකොටුවක, අඩ නිරුවතින්, අධික උෂ්නත්වය මත අපිරිසිදුකම සහ සතුන්ගෙන් වන හිරිහැරද විදිමින් විවිධ රෝගාබාධවලට ගොදුරු වෙමින් මිහිපිට නිරයක ගෙවන ලද කාල වකවානුවක් ලෙස බොහෝ සිරකරුවන් විසින් මෙම හැමන්හිල්වල ගත කරන ලද ජීවිතය හදුන්වා දී ඇත.ඇති වූ විවිධ තත්ත්වයන් නිසා ඇතැම් සිරකරුවන් මෙහිදී දුක්ඛිත ලෙස මරණයට පවා ලක් වී ඇත.කෙසේ වෙතත් පසුකාලීනව ඇති වූ විරෝධතා නිසා සිරමැදිරිවල අගුළු හැර එළිමහනෙහි සිටීමට සිරකරුවන්ට යම් අවසරයක් ලැබි ඇත.

මෙහි එක් සිර මැදිරියක රෝහණ විජේවීර සිරගතකොට සිට ඇති අතර ඔහු විසින් කළ සටහනක්ද එහි ඇත.

මෙහි දැක්වෙන්නේ සිරකුටි‍යේ බිත්තියක ඔහු තබා ඇතැයි සළකන සටහනයි.

මේ ආකාරයට කාලයේ රළ පහර විසින් විවිධ තත්ත්වයන් උදා කරන ලද හැමන්හිල් බලකොටුව අදවනවිට සියළු අදෝනාවන් සගවාගෙන සියල්ල දරා ගනිමින් වර්තමානයට උචිත ලෙස සංචාරක නිකේතනයක් බවට පත්ව ඇත.

මෙහි ඇති සංචාරක නිකේතනය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අතර සංචාරකයන් බලකොටුුව කරා යාමට බෝට්ටු මගින් ප්‍රවාහන කටයුතු සිදු කරනු ලබන්නේද නාවික හමුදාව විසිනි.


හැමන්හිල්හි සංචාරය කරන ඔබට එහි සුව පහසු හෝටල් කාමරයක් තුළ විවේකී සුවයෙන් කාලය ගත කරන්නටත් 71 කැරැල්ලෙහි මතක සටහන් නරඹමින් සිර මැදිරියක් තුළ නවාතැන් ගැනීමටත් ඒ ඔස්සේ වෙනස් අපූරු අත්දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව අද වන විට ඔබට පවතියි.නිසැකවම එය සංචාරයට ප්‍රිය කරන ඔබට වෙනස්ම ආකාරයේ මතක සටහනක් එක් කරනු ඇත.

විවිධ තත්වයන්ට මුහුණ දෙමින් සියල්ල දරා ගනිමින් වර්තමානයට මුහුණදෙන හැමන්හිල් බලකොටුව යාපනය ප්‍රදේශ‍යේ සංචාරය කිරීමට බලාපොරෙත්තුවන සංචාරකයන් නැරඹිය යුතුම අපූරු සංචාරක ස්ථානයකි. එමෙන්ම එම අපූර්වත්වය අනාගත පරපුරටද සුරක්ෂිත කිරීම සංචාරක ඔබ සතු යුතුකමක් වන්නේය.

                                          සටහන- සන්ධයා නිල්මි.

           

 

 

 

 




කාලයේ රළ පහර මෙන්ම සාගර රළ පහර ද දරා සිටිනා හැමන්හිල් බලකොටුවේ කතන්දරය.. බටහිර ජාතීන් මහ සයුර තරණය කොට පෙරදිගට යාත්‍රා කොට සිය අණසක ලොව පුරා...