කාලයේ රළ පහර මෙන්ම සාගර රළ පහර ද දරා සිටිනා හැමන්හිල් බලකොටුවේ කතන්දරය..
විටෙක රිද්මයානුකූල ලෙසත් තවත් විටෙක චණ්ඩ ලෙසත් රටා මවනා කරදිය රළ පහරින්ද,දශක ගණනාවක වෙනස දරනා කාලයේ රළ පහර විසින් එල්ල කරන ලද පීඩනයන් හා අරගලයන්ට මැදිවී දුක් අදෝනා දහස් ගණනක දෝංකාරය සගවාගත් මේ අපූර්ව හැමන්හිල් බලකොටුව අදවන විට විවේකී නිහැඩියාවක පසුවන සංචාරක ස්ථානයකි.
මෙහි පහත දැක්වෙන ඡායාරූපයෙහි ලංකා සිතියමෙහි හැමන්හිල් බලකොටුව පිහිටි ස්ථානය දක්වා ඇත.
මෙහි ඉතිහාස කතන්දරය සොයා යාමේදී 17 වන සියවසේ මැද භාගයේ දී අන්තෝනියෝ ඩි අමරල් ඩි මෙනසස් නම් පෘතුගීසී ආණ්ඩුකාරවරයාගේ අණ පරිදි ඉදිකර ඇති අතර මෙය හදුන්වා ඇත්තේ (Fortaleza Real) රාජකීය බලකොටුව නමිනි.පෘතුගීසීන් විසින් යාපනය බලකොටුව ඉදිකිරීමෙන් පසු යාපනය නගරය සහ ඒ අවට මුහුදු මාර්ගයේ ආරක්ෂාවට මෙය නිර්මාණය කර ඇත.කොරල්පරයක් මත පිහිටා ඇති මෙය කොරල්පර සිමෙන්ති බැද දැමීමෙන් ගොඩනංවා ඇත.
ගොඩබිමෙහි සිට බැලූවිට හැමන්හිල් බලකොටුව ඈතින් දිස්වන අයුරු
එමෙන්ම පෘතුගීසීන් මෙම බලකොටුව තැනීමෙන් පසු වැඩි කලක් ලංකාවේ බලය රදවාගෙන සිටීමට නොහැකි වූ අතර ලන්දේසි බල ව්‍යාප්තියත් සමග මෙම බලකොටුව 1858 දී ලන්දේසි ප්‍රහාරයකට ලක් වේ.එම අවස්ථාවේදී පෘතුගීසීන් ශක්තිමත් ලෙස මෙහි බලය ආරක්ෂා කරගෙන සිටියද බලකොටුවට වඩා උසින් තනා තිබූ ජල ටැංකියට ලන්දේසින් විසින් ප්‍රහාර එල්ල කිරීම නිසා ඇති වූ ජල හිගය මත මෙහි සිටි පෘතුගීසීන්ට ලන්දේසීන්හට යටත්වීමට සිදුව ඇත.
මෙම ආක්‍රමණයෙන්
පසු නැවත ගොඩනැගි බලකොටුව ලන්දේසීන් විසින් හැමන්හිල් (Hammenhiel) නමින් හදුන්වා ඇති අතර ඌරු මස්
ගාතයක (heel
of
The ham) හැඩයකින් දිස්වන දිස්වන ලංකාවේ
හැඩය නිසාත් මෙම බල කොටුව පිහිටා ඇත්තේ එහි අඩියේ නිසාත් මෙය හැමන්හිල් නමින්
හදුන්වා ඇත.
එමෙන්ම තව දුරටත් මෙහි ඉතිහාසය පිළිබද කරුණු විමසා බැලීමේදී 1971 කැරැල්ල වැදගත් වේ.
සමාජිය වශයෙන් දැඩි බලපෑමක් ඇති වූ 1971 තරුණ කැරැල්ල අවස්ථාවේදී යාපනය බන්ධනාගාරයේ සිරගත කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරව නිදහස් කර ගැනීමට යාපනය බන්ධනාගාරය වෙත එල්ල කරන ලද ප්‍රහාරය අසාර්ථක වී ඇති අතර ඉන්පසු සැකකරුවන් රදවා තැබීමට මෙම හැමන්හිල් බලකොටුව යොදාගෙන ඇත.ලයනල් බෝපගේ,ලොකු අතුල,පොඩි අතුල(වික්ටර් අයිවන්) වැනි 71 කැරැල්ලේ කැපී පෙනෙන චරිත රාශියක්ද මෙම සිරකදවුරේ සිරගතකොට තිබූ බවට අදහස් ප්‍රකාශ වේ.
හැමන්හිල් බලකොටුවේ සිරකරුවන්සි රදවා තැබීමට යොදා ගත් සිරකුටියක ඡායාරූපයක්
හැමන්හිල් බලකොටුවේ අවකාශයන් අතර ඛේදනීය මතක සටහන් සැගවී පවතින බව 1971 කැරැල්ලේ සිරකරුවන් විසින් ගෙන එන කතන්දර තුළින් ඔවුන්ගේ ජීවිත ඉතා දුක්ඛිත ලෙස ගත කළ බව දක්වන අතර මෙහි අභ්‍යන්තරයේ අති වෙඩි බෙහෙත් ගබඩා කරන ඩන්ජන් තුළ රැදවියන් සැරගත කොට තබා ඇත.ඒ අතර විශාලම ගුහාවේ සිරකරුවන් 70 ක් පමණ රදවා තබා ඇත.
කරදිය සුළං මුසු බලකොටුවක, අඩ නිරුවතින්, අධික උෂ්නත්වය මත අපිරිසිදුකම සහ සතුන්ගෙන් වන හිරිහැරද විදිමින් විවිධ රෝගාබාධවලට ගොදුරු වෙමින් මිහිපිට නිරයක ගෙවන ලද කාල වකවානුවක් ලෙස බොහෝ සිරකරුවන් විසින් මෙම හැමන්හිල්වල ගත කරන ලද ජීවිතය හදුන්වා දී ඇත.ඇති වූ විවිධ තත්ත්වයන් නිසා ඇතැම් සිරකරුවන් මෙහිදී දුක්ඛිත ලෙස මරණයට පවා ලක් වී ඇත.කෙසේ වෙතත් පසුකාලීනව ඇති වූ විරෝධතා නිසා සිරමැදිරිවල අගුළු හැර එළිමහනෙහි සිටීමට සිරකරුවන්ට යම් අවසරයක් ලැබි ඇත.
මෙහි එක් සිර
මැදිරියක රෝහණ විජේවීර සිරගතකොට සිට ඇති අතර ඔහු විසින් කළ සටහනක්ද එහි ඇත.
මෙහි දැක්වෙන්නේ සිරකුටියේ බිත්තියක ඔහු තබා ඇතැයි සළකන සටහනයි.
මේ ආකාරයට කාලයේ රළ
පහර විසින් විවිධ තත්ත්වයන් උදා කරන ලද හැමන්හිල් බලකොටුව අදවනවිට සියළු අදෝනාවන්
සගවාගෙන සියල්ල දරා ගනිමින් වර්තමානයට උචිත ලෙස සංචාරක නිකේතනයක් බවට පත්ව ඇත.
මෙහි ඇති සංචාරක
නිකේතනය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අතර සංචාරකයන් බලකොටුුව කරා
යාමට බෝට්ටු මගින් ප්‍රවාහන කටයුතු සිදු කරනු ලබන්නේද නාවික හමුදාව විසිනි.
විවිධ තත්වයන්ට
මුහුණ දෙමින් සියල්ල දරා ගනිමින් වර්තමානයට මුහුණදෙන හැමන්හිල් බලකොටුව යාපනය ප්‍රදේශයේ
සංචාරය කිරීමට බලාපොරෙත්තුවන සංචාරකයන් නැරඹිය යුතුම අපූරු සංචාරක ස්ථානයකි. එමෙන්ම
එම අපූර්වත්වය අනාගත පරපුරටද සුරක්ෂිත කිරීම සංචාරක ඔබ සතු යුතුකමක් වන්නේය.
සටහන- සන්ධයා නිල්මි.
No comments:
Post a Comment