Tuesday, August 1, 2017

කතරගම පුද බිම



කතරගම පුද බිම

 

ශි‍්‍ර ලංකාවේ ප‍්‍රථමයෙන් බිහි වූ රාජධානිය අනුරාධපුරයයි. ඒ යටතේ මුළු ලංකාවම ඒකීය රාජ්‍යයක් යටතේ පාලනය වූවත් රටේ වෙනත් ප‍්‍රදේශවල ද කුඩා ස්වාධින රාජ්‍යයන් ඇතැම් කාලවල පැවති බව පෙනේ. කතරගම පුද සිරිත් නම් ග‍්‍රන්ථයෙහි සදහන්වන ආකාරයට රුහුණේ පැවති මාගම රාජ්‍යය කතරගම රාජ්‍යය එවැනි රාජ්‍ය දෙකකි. නැගෙනහිරින් බටහිරින් සහ දකුණින් ගෝකණ්න තිත්ථ (වර්ථමාන ත‍්‍රිකුණාමලය* දක්වා විහිදුනු මුහුදු වෙරළත් උතුරින් බෙන්තොට ගගේ සහ මහවැලි ගගේ ද දකුණු ඉවුරු සහ මලය රටේ දකුණු පෙදෙසත් අතර රෝහණ ජනපදය හෙවත් රුහුණු රට ව්‍යාප්තව තිබිණි. මහා වංසය අනුව රෝහණ ජනපදයේ ආරම්භකයා වන්නේ රෝහණ කුමාරයාය. කතරගම පිළිබදව කරුණු සදහන්වන පැරණිතම ලේඛනය ලෙස දැනට හමුව ඇත්තේ මහාදාඨික මහානාග රජතුමාගේ කතරගම අභිලේඛනය යි. එම ලිපියෙහි කතරගම හදුන්වා දෙන්නේ කජරගම නමිනි. මේ හැර අනෙත් මූලාශ‍්‍ර රාශියකද යම් යම් සටහන් දක්නට ලැබෙන අතර එක් එක් සටහන්වල කතරගම හදුන්වා ඇත්තේ සමානකම් ඇතත් වෙනස් නම් වලිනි. මහා වංශය කතරගම හදුන්වා ඇත්තේ කජරගාම නමිනි. ධාතු වංශයේ ”කදරගම” යනුවෙන්ද රත්න ප‍්‍රඥ්භ තෙරුන් විසින් රචිත ජින කාලමා ලී නම් කෘතියෙහි ”කාචරගාම” යනුවෙන්ද මහා බෝධි වංශයේ ”කදරගමු” සහ ”කදරගම” යනුවෙන්ද පූජාවලියේ ”කාචරගාම” යනුවෙන්ද හදුන්වනු ලබන්නේ වර්ථමාන එකම කතරගම බව නිසැකය. රසවාහිනියේ හා ථුප වංශයේ කතරගම හැදින්වීමට යොදාගෙන ඇත්තේ ඉහත දැක්වු සියළු නාමයන්ට වඩා වෙනස් වූවකි. එනම් කප්ප කන්දරගාම යන්නය.

මෙම නාමය ප‍්‍රභවය වීමට හේතුව වන්නට ඇත්තේ කප්ප කන්දර නදී හෙවත් වර්ථමාන මැණික් ගග ආශිතව මේ ප‍්‍රදේශය පිහිටා තිබීම විය යුතුය. කතරගම අසලින් ගලා බස්නා සුප‍්‍රසිද්ද මැණික් ගග පැරණි මූලාශ‍්‍රවල සදහන්ව ඇත්තේ කප්පකන්දර නදී යනුවෙනි.

කතරගම පුද බිම පිළිබදව අධ්‍යනයේදී එම ස්ථානයට විශේෂ වටිනාකමක් ගෙන දෙන්නක් ලෙස කතරගම කිරි වෙහෙර හැදින්විය හැකිය.අතිත ග‍්‍රන්ථ වල සදහන් වන ආකාරයට බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව අටවෙනි වර්ශයේ කි‍්‍රස්තු වර්ශයට පෙර පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමග දැනට කිරි වෙහෙර පිහිටි ස්ථානයේ ඇති මහටස්න රජුටගේ උයනෙහි වු කිහිරි ගස් සෙවනෙහි මොහොතක් වැඩ හුන් සේක.(සමන්ත පාසාදික 44*(මහා වංශය 10*.

සමවතින් නැගිට මහසේන රජු ප‍්‍රධාන පිරසට දහම් දේශනා කල සේක. මහසේන රජු සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුන් වහන්සේ අතින් ලත් කේෂ ධාතු ද බුද්ධ පාරිභෝගික ආසනයද නිදන් කොට කතරගම වෙහෙර කරවන ලදී.

 

 

 

  මුනිනදෝ නිසින්නෝ යහිං දේවතා නං

සමේතාන මග්ගං සුදේසේසි ධම්මං

මහා සේන දේවස්ස සම්මාන නීයං

නමේකා චරග්ගාම ථුපස්සඨා නං

ශාක්‍ය මුනින්දා තෙමේ රැුස් වූ දෙවියන්ට යම් තැනකදී අග‍්‍ර වූ ධර්මය දෙස සේක් ද එතැන් හි මහා සේන රජු විසින් කරවන ලද කතරගම කිරි වෙහෙරට නමස්කාර කරමි යනු මෙහි අදහසය.

බුදුන් වහන්සේ තුන් වතාවක් ලක් දිවට වැඩම කළ බව අපේ සාම්ප‍්‍රදායික පිළිගැනීම වන අතර එම නිසා කතරගම පුද බිමක් බවට පත් විය.මේ අවස්ථාව වන විටත් කතරගම් වැස්සෝ කාර්තිකේය හෙවත් කතරගම දෙවියන් පිළිබදව විශ්වාසයෙන් යුක්ත වි ඇත.

මේ අවදිය වන විට ඉන්දියාවේ ප‍්‍රදේශ රාශියකම පාලන බලය පැවත ඇත්තේ ක්ෂති‍්‍රකයන් අතරය. කතරගම පාලන බලය අත්පත් කරගෙන සිටි ක්ෂස්ති‍්‍රය වංශි‍්‍රකයෝ ඉන්දිය ප‍්‍රභවයක් ඇත්තෝ යැයි සිතිය හැකිය.ඉන්දියාවේ ප‍්‍රචලිතව පැවති කාර්තික ඇදහීම ලක්දිවට කතරගමට පැමිනෙන්නට ඇත්තේ ඉන්දු ශ‍්‍රී ලංකා ක්ෂස්ත‍්‍රිය සබදතා ඔස්සේය.

වරෙක දියුණු වෙමින් සහ වරෙක පරිහානියට පත් වෙමින් වුවද ඈත අතීතයේ සිටම කතරගම පූජනීය ප‍්‍රදේශයක් ලෙස සම්භාවිත වූ බව ඉහත කරුණු ඇසුරින් පැහැදිලි වේ. ශත වර්ෂ කිහිපයක් තිස්සේ අදුරුව පැවති කතරගමට පුනරාලෝකය ලැබී ඇත්තේ ක‍්‍රි.ව. 1873 සිටය. දේශිය හා විදේශිය වන්දනාකරුවන්ගේ ප‍්‍රයෝජනය සදහා සෞඛ්‍ය පහසුකම් සහ පොලිස් ආරක්ෂාව ලබා දීමට රජය පියවර ගත්තේ එම වර්ෂයේදීය.

කි‍්‍ර.ව. 1873 වන්දනා ගමන් පිළිබද ලියවිල්ල වාර්ශිකව කතරගම ඇදී ආ බැතිමතුන්ගේ සංඛ්‍යා ලේඛන ඇතුලත් ඓතිහාසික සටහනකි. 1871 දී දෙදහසක් වූ වන්දනා කරුවන්ගේ සංඛ්‍යාව 1872 දී පන්දහස දක්වාත් 1877 දී හය දහස දක්වාත් වර්ධනය වූ අයුරු එම සංඛ්‍යා ලේඛන වලින් හෙලි වෙයි.

ඉන්දියාවේ සිට කතරගම වන්දනාවේ පැමිණි බැතිමතුන් අතර මුස්ලිම් භක්තිකයෝ ද විශාල ප‍්‍රමාණයක් සිට ඇත.

 

 

 

 

අතීතයේ ස්වාධීන රාජ්‍යයක්ව පැවති කතරගම අද රජය විසින් නම් කරනු ලැබූ පූජා නගරයකි. ලංකාවේ වෙනත් පූජනීය නගරයන්ට වඩා මෙහි ඇති විශේෂත්වයක්ද වෙයි.එනම් කතරගම යනු එකම සංස්කෘතියකට එකම ආගමකට අයත් වූ පූජා භූමියක් නොවේ. පොදු පුජා භූමියකි. එය නා නා ජාතිකයන්ගේ නා නා ආගමිකයන්ගේ ඒකීය පුද බිමකි.

 

 

ඞී.ජී.අයි.එස්. නිල්මි,
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

 


1 comment:

  1. i went there every year. but i don't konw more ancient information about katharagama. but i read this blog & i get knowledge. thanks nilmi.

    ReplyDelete

                                                                                                                                    -සන්ධ්‍ය...